Live Stream


මගේ පියත් විශ්‍රාමිකයෙක් වුණා නම්,

Tuesday, October 06, 2015 Chandimal Wanasuriya 0 Comments


විශ්‍රාමික ප්‍රජාව කියන්නේ මානව සම්පතේ  වටිනාම කොටසක්. දැනුම වගේම අත්දැකීම් වලිනුත්  ඔවුන් පරිණතයි. මම හිතන විදිහට විශ්‍රාමිකයා කියන්නේ මානව හිතවාදියෙක්.ඒ විතරක් නොවෙයි වර්ථමානයේ  විශ්‍රාමිකයාගේ හෙට දවස සුරක්ෂිතයි. ඇත්තටම රාජ්‍ය සේවකයාව සේවා කාලයෙන් වියුක්ත වූවාට පසුව සමාජයේ අන්තයකට හුදෙකලා කිරීම උචිත නෑ. මොකද විශ්‍රාමික ප්‍රජාව තුළ අගනා දැනුම් සම්භාරයක් තියෙනවා.අපට පුළුවන් නම් ඔවුන්ගේ ඒ දැනුම අපේ රටේ සංවර්ධනයට ආශිර්වාදයක් කරගන්න, එදා විශ්‍රාමිකයාට සමාජයේ ‍හොඳ පිළිගැනීමක් තිබුනේ නෑ. රාජ්‍ය ආයතන කෙරෙහි විශ්වාසයක් මහජනතාව තුළ නොතිබුණු යුගයක් තිබුණා.මම හිතන විදිහට එදා තිබුණු  තත්ත්වයට වඩා අද තත්ත්වය සුභදායකයි. විශ්‍රාමිකයා කියන්නේ කවුද ? යනුවෙන් වරක් නොව සිය දහස් වාරයක් හිතන්න කාලය ඇවිත්.

තත්පරයක් තත්පරයක් පසාම ලෝකය සංවර්ධනයේ  හිණිපෙත්තට ගමන් කරන නිමේෂයක අපිට පුළුවන් නම් මේ ගමන විශ්‍රාමික ප්‍රජාවගේ දැනුම, අදහස්  හා අත්දැකීම් එක්ක යන්න, ඇත්තටම අපි සාර්ථකයි.රටක කොඳු නාරටිය විදිහට තරුණ පරපුර හදුනා ගන්න පුලුවන්.‍ මම හිතන විදිහට තරුණ පරපුර මෙහෙයවිය යුත්තේ වැඩිහිටින්. විශ්‍රාමික ප්‍රජාව අතර සිටින උගතුන්ට හා බුද්ධිමතුන්ට පුළුවන් රටේ සංවර්ධනය මෙහෙයවන්න.

වේලාවකට මට හිතෙනවා මගේ පියා විශ්‍රාමිකයෙක් වුණා නම් කියලා.මොකද අද විශ්‍රාමිකයාට සමාජයේ විශිෂ්ඨ පිළිගැනීමක් තියෙනවා.ඒ විතරක් නොවෙයි බියෙන් හා සැකෙන් තොරවූ පැහැදිලි සමාජ වටපිටාවක් අද විශ්‍රාමිකයාට තියෙනවා.ඔබ දන්නවාද? අදවන විට විශ්‍රාමිකයාට සමාජ රැකවරණයක් හදලා දෙන්න විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඇප කැපවී කටයුතු කරනවා. විශ්‍රාමිකයා වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ගොඩනගන්න  කතිකාවක් මේ වෙනකොට පටන්ගෙන තියෙනවා. මට හිතෙන විදිහට මේ කී සෑම පහසුකමක් එක්කම ‍විශ්‍රාමිකයාගේ හෙට දවස සුරක්ෂිතයි. විශ්‍රාමිකයාට විශ්‍රාම වැටුපෙන් ඒහාට හිතන්න කාලය උදා වෙලා.සමාජ, ආර්ථික, වශයෙන් අද විශ්‍රාමිකයා ශක්තිමත්. ඒ විතරක් නොවෙයි හෙටදින විශ්‍රාමිකයා මේ රට සංවර්ධනය කරා රැගෙන යාවී. ඒ වගේම අවශ්‍ය මාර්ගෝපදේශකත්වය නොඅඩුව ලබා දේවී. අද විශ්‍රාමිකයා වෙනුවෙන් ගොඩනැගිලා තියෙන වටිනා කතිකාව එක්ක මට හිතෙනවා මගේ පියා විශ්‍රාමිකයෙක් වුණා නම් කෙතරම් වටිනවද කියලා.


අයේෂා දමයන්ති
ජන සන්නිෙව්දන අධ්‍යන අංශය
කැලණිය විශ්ව විද්‍යාලය

0 comments: